අපිට කොයින්ද  බූල් බල්ලෝ?

පහුගිය දොහොක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉස්සරහ ටයි කෝට් දාගත්ත කට්ටියක් කෑගැහුවා. අහල පහලක හිටපු නිසා ජනේලෙන් එළියට ඔළුව දාල බැළුව. අප්පට සිරි මේ පරිපාලන නෝනා මහත්තුරුනේ. ඇවිල්ල තියෙන්නේ අයිතිවාසිකමක් දිනාගන්නලු. අපිටත් ඉතින් අනුන්ගෙ කුණු ටික දිහා ලයිට් ගහල බලන්නැතුව ඉන්න පුරුද්දක් නෑනේ. ඇන්ටනාව කරකෝලා බැලුවහම උන්දැල ඉල්ලන්නේ රු.50,000.00 ක (යකෝ මේකෙ බින්දු ගාන ටයිප් කලේ දෙතුන් වතාවක් හරිගස්සල. ඇයි බින්දුම කීයක්ද?) දීමනාවක් ඉල්ලලා.
එකපාරටම ඔළුවට ආවෙ “යකෝ මුංට පයිත්තයන්ද? පනස්දාහක දීමනාවක් ඉල්ලන්න. හම්බෙන පඩිය පැත්තකින් තියමුකෝ. දුරකතන දීමනාව, වාහන, ඉන්ධන, නෝනව, මහත්තයව වැඩට දාන්න, ළමයි ඉස්කෝලෙ දාන්න වාහන, ඩ්‍රැයිවර්ල, තෙල්, විදේශ සංචාර, විදේශ ශිෂ්‍යත්ව, අරව, මේව… කියාගෙන යන්නත් බැරි තරම් දේවල්. මේ ඔක්කොම තියෙද්දි තවත් පනස්දාහක දීමනාවක්. හම්බුවෙයි බම්බුව“ කියලයි.
කොහොමින් කොහොම හරි දවස ගෙවල හවස ගෙදර එනකොට බස් එකේ රේඩියෝ නිවුස් එකට මේ උද්ඝෝෂනේ ගැනත් කියවුණා. ඒ වෙලාවෙදි රාජ්‍ය පරිපාලන ඇමැති ගොයිය කියපි “පරිපාලන නිලධාරීන්ගෙ මේ ඉල්ලීම ගැන සලකා බලනවය… අනික් නිලධාරීන්ගේ වැටුබට බාධාවක් නොවන විධියට මේක දෙන්න බලාපොරොත්තු වෙනවය“ කියල.
“අනේ සාදු තව මල් පිපියං“ කියල මමත් හිතුව හොඳයි නෙ යකෝ පනස්දාහක දීමනාවක් ලැබෙනව නං.
ඒ අතරෙ තමයි මතක් වුණේ උදේ ගෙදරින් පිටත් වෙන්න හදනකොට ගෙදර උන්දැ කිවුවා නේද ළමයගෙ පිටි එක ඉවරයි, අද නොගෙනාවෙත් හෙට ළමයට කැඳ තමයි දෙන්න වෙන්නේ කියල. කඩේට ගිහින් පර්ස් එක ඇද්දහමයි මතක් වුණේ මේ මාසේ පඩියෙන් දෙන්නම් කියල පොරොන්දු වෙලා ගිය මාසේ පොලී මංජුගෙන් ගත්ත රුපියල් දෙදාහ දීල බස් එකේ යන්න රුපියල් දෙසීය ඉල්ල ගත්තෙ මුදීගෙන් කියල.
මුංගෙ අම්මලට හාල් ගරන්න අපේ මුළු පඩියම රුපියල් තිස්පන්දාහයි. ඒකට කිසිම දීමනාවක් අයිති නෑ. එකෙනුත් දහ මාසේ ණයටයි, උත්සව අත්තිකාරම්වලටයි, පොත් දීමනාවටයි, සුබ සාධකේ ණයටයි ගෙවල අතට එන්නේ විසිදෙදාස් පනසිය ගාණක්.
එහෙවු අපි ගැන කිසිම කැක්කුමක් නැති මුන්දැල එක කොට්ටාසයකට විතරක් දීමනාවක් විදියට රුපියල් පනස්දාහක් දෙන්න ලෑස්තිය.
අනේ උන්දැලට පනස්දාහක දීමනාවක් දුන්නට අපේ අහිතක් නෑ අයිබෝවන්. පුළුවන් නං අපේ මුළු වැටුප රුපියල් පනස්දාහක් කොරන්න ඇහැක්කිය…
– මුග්ධයා –
2018.06.16

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.