“පොලිස්පති ටොම් පචයා” රාජ්‍ය සේවකයෙක්ද? ආණ්ඩු සේවකයෙක්ද?

“පොලිස්පති ටොම් පචයා” රාජ්‍ය සේවකයෙක්ද? ආණ්ඩු සේවකයෙක්ද?

අබිලිං කියන්නෙ ගමේ හතර මායිමේ වෙච්ච දේවල් ගැන කඩේ පිලේ ඉඳගෙන කියවන පොල් බූරුවෙක්. මිනිහා ගමේ වෙන හැම මගුලක් ගැනම දන්නවා. ඒ හැම දෙයක්ම කඩේ පිළේ ඉඳගෙන කියවන්නේ දෑහින් දැක්ක වගේ. මිනිහ කියෝගෙන කියෝගෙන යනකොට සමහර දෙවල් අතින් දාලා කියනවා. මොකද මිනිහට කෙබර කෙළින එක එච්චර අමාරු කාරනාවක් නෙමෙයි. මොකෝ මිනිහ පච කෙලිය කියල අල්ලල හිරේ දාන්නයැ.

හැබැයි පොළිස්පති කියල කියන්නේ ගමේ අබිලින් වගේ චරිතයක් නෙමෙයි. ඒක තනතුරක්. නිකම්ම නිකං තනතුරක් නෙමයි, රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන කණ්ඩායමක ප්‍රධානියා. ඒ තනතුරට අදාල වගකීම් කියල එකක් තියෙනවා. වගකීම විතරක් නෙමෙයි වගවීම කියල එකකුත් තියෙනවා. ඒ නිසා යමක් ගැන අදහසක්, ප්‍රකාශයක් කරනකොට ගමේ අබිලිං කඩේ පිළේ ඉඳගෙන ඕපදූප කියනව වගේ කියන්න පුළුවන්කමක් නෑ. මොකද මේ නමක්, ගමක් නෙමෙයි, රටේ වගකිවයුතු තනතුරක්.

හැබැයි ඉතින් අර රඹුක්කන උද්ඝෝෂණය අතරතුර සිදුවෙච්ච ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය ගැන මේ කියන පොලිස්පතිගෙ ප්‍රකාශය දැක්කහම පොලිස්පතියි ගමේ අබිලියයි අතර කිසිම වෙනසක් නෑ කියලයි අපිට නං හිතෙන්නේ. මොකද පොලිස්පති දෑහින් දැක්ක වගේ කියන්නෙ අමු ටොං පච. හැබැයි මේ යකා මේ අමු ටොම් පච කෙළින්නේ පණ පිහිටුවලා.

මෙතන තියෙන ගැටළුව මේ වගේ පණ පිහිටුවල ටොම් පච කෙළින එක විතරක්ම නෙමෙයි. මේ ටොම් පච කෙළින්නේ මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීම සම්බන්ධයෙන්. ඒ ඝාතනයෙන් බේරෙන්න තමයි මේ පච කෙළින්නේ. මනුෂ්‍යයෙක්ගෙ ජීවිතයක් සම්බන්ධයෙන් සරලව තීන්දු තීරණ ගන්න තමයි මේ ටොම් පච කෙළින්නේ.

අනික් කාරණාව තමයි මේ ටොම් පච කෙළින්නේ රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන කණ්ඩායමක ප්‍රධානියෙක්. මේ ප්‍රධානියාගේ ප්‍රකාශය රජයේ ප්‍රකාශයක් වෙනවා. මේ ප්‍රකාශය කරන්නෙ රජය වෙනුවෙන්. මේ ප්‍රකාශය රජයේ නිල ප්‍රකාශයක්. ඒ කියන්නෙ රජය ටොම් පච කෙළිනව කියන එක.

රජය හා ආණ්ඩුව කියන දෙකේ වෙනස තේරුම් ගන්න බැරි එවුන් ආණ්ඩුවට කඩේ යන්න ගිහින් මේ පච කරන්නේ රජය. මේ වගේ දේවල්වලින් ජාත්‍යන්තරයේ හෑල්ලු වෙන්නෙ රජය. ඒ කියන්නේ මේක වරදක්. හැබැයි මේ වරදට දඬුවම් තියෙනවද?

උත්තරේ නැහැ කියන එක.

මේ රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස නොදන්න ඈයෝ රාජය සේවය කියල කරන තරමක් කරන්නේ ආණ්ඩුවේ වැඩ. ආණ්ඩුව කියන්නෙ රාජ්‍යය නෙමෙයි. ආණ්ඩුව කියන්නේ රටක් හෝ ප්‍රාන්තයක් පාලනය කිරීමට බලය ඇති පුද්ගල කණ්ඩායමක්. එහෙමත් නැත්තං ආණ්ඩුව කියන්නේ රාජ්‍යයේ ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නගන ආයතනයයි. රාජ්‍ය ස්ථාවරයි. හැබැයි ආණ්ඩුව අස්ථාවරයි. ඒ කියන්නෙ රාජ්‍ය සදාකල් පැවතුනත්, ආණ්ඩුව සදාකල් තියෙන්නෙ නෑ.

හැබැයි ඕකෙ මෙහෙම දේකුත් තියෙනවා. රාජ්‍යයෙන් අයථා විදියට කිසිදු වාසියක් ගන්න බෑ. හැබැයි ආණ්ඩුවෙන් ඕනෙ තරම් වාසි ගන්න පුළුවන්. මේ වාසි අතරට, තනතුරු, වරදාන, වරප්‍රසාද වගේම තමන්ගෙ වැරදි යටපත් කරගන්න, තවත් ඉදිරියට වැරදි කරන්න වගේ හුඟක් දේවල් ආණ්ඩුවෙන් කරගන්න පුළුවන්.

ඉතින් අපිට පැහැදිළියි මේ පොලිස්පතිවරයා අතේ පැළවෙන ටොම් පච කෙළින්නේ රාජ්‍ය වෙනුවෙන් නෙමෙයි. ආණ්ඩුව වෙනුවෙන්. මේ පොලිස්පතිවරයාට රාජ්‍ය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නෑ. වගකීමක් හෝ වගවීමක් නෑ. ඔහුට අදල වෙන්නෙ ආණ්ඩුව විතරයි. ආණ්ඩුව බේරගන්න ඔහු ඕනෙම ටොම් පචයක් කියන්න ලෑස්තියි. ඒක පට්ටපත් බොරුවක්, මේ බොරු ජනතාව පිළිගන්නේ නෑ. මේකෙන් ආයතනය වගේම රාජ්‍ය ලැජ්ජාවට පත් වෙනවා කියන කාරණාව ඔහුට අදාල නෑ. මොක ඔහු රාජ්‍ය සේවකයෙක් වුණාට ඔහු සේවය කරන්නෙ ආණ්ඩුවට.

එතකොට මේ වගේ කෙනෙක්ගෙන් අපිට දැන් විතරක් නෙමෙයි ඉදිරියටත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ වගේ ටොම් පච කියන එවුන් ඉස්සරහට තව මොනව නොකියයිද? තව කොච්චර දේවල් වහන්න මේ වගේ අය තව කොච්චර ටොම් පච අතාරියිද?

ඒ විතරක් නෙමෙයි, මුං මීට කළින් වෙච්ච දේවල් ගැන කොච්චර ටොම් පච කෙළින්න ඇද්ද? යුද්ධෙ ගැන, පාතාල සාමාජිකයෝ ආයුධ පෙන්නන්න ගිහින් වෙඩි කියපු සිද්ධි ගැන, ලලිත්-කුගන් වගේ අය අතුරුදහන්වීම ගැන, ලසන්ත, එක්නැලිගොඩ වගේ මාධ්‍යවේදීන් ගැන, ජනක-සිසිත වගේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ අනතුරට පත්වීම  ගැන, වගේම අරගලවලදි බස් ගිනි ගන්න එක ගැන, තෙල් බවුසර් ගිනි තියන්න ගියපු ඒව ගැන වගේ කොච්චර ටොම් පච කෙළින්න ඇද්ද? හැබැයි මේවට මේ උන්දැලට ලැබිච්ච දඬුවමක් ගැන අහල තියෙනවාද? නෑනේ… ඇයි ඒ…? උත්තරේ හරි සරලයි….

එයාලා ඔක්කොම යාළුවො මල්ලි….

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.