චොයිස් එක Ice නං, බඩු බනිස්

මේ දවස්වල රටේ කාගෙත් කතාබහට ලක් වෙච්ච ප්‍රධාන මාතෘකාවක් තමයි අයිස් කියල කියන්නේ. ඒත් වැඩිපුර අයිස් ගැන කියවෙන්නෙ සීතල නත්තල් මාසය නිසා නම් නෙමෙයි. එහෙමත් නැත්තං මේ දවස්වල වැඩිපුර කතාවෙන අයිස් කියන්නෙ පුංචි ඈයෝ විතරක් නෙමෙයි වැඩිහිටියන් පවා කැමැත්තක් දක්වන හිම කිරම එහෙම නෙමෙයි. මේ කතා කරන්නෙ ලෝකයේ තියෙන භයානකම මත්ද්‍රව්‍ය අතරින් මුලින් ම නම කියැවෙන “ක්‍රිස්ටල් මෙත්” කියන මත්ද්‍රව්‍යය ගැන.

Crystal, Meth, Tina, Chrissy, Speed වගේ හුඟක් නම්වලින් කියැවෙන ක්‍රිස්ටල් මෙත් කියන මේ මත්ද්‍රව්‍යවල වඩාත් ප්‍රචලිත නාමය තමයි Ice හා Glass කියන නම්.

අයිස් කියන්නේ මොනවද?

Crystal Methamphetamine කියන නාමයෙන් හැඳින්වෙන මේ මත්ද්‍රව්‍ය Crystal Meth කියන නමිනුත් හැඳින්වෙනවා. මේවා කැට හෝ කුඩු ලෙසින් තමයි ලොව පුරා සංසරණය වෙන්නේ. මේ වෙන කොට ඇමරිකා එක්සත් ජනපදයේ මෙක්සිකෝවේ ගනුදෙනු අපරාධ සංවිධාන(TCOs) ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම මත්ද්‍රව්‍ය ඉහළ ධාරිතාවකින් යුත් මත්ද්‍රව්‍යයක් වුවද වෙනත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව මිල අඩුවීම මෙහි ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.

Ice මත්ද්‍රව්‍යයෙහි පොදු සංඝටකයක් වන Pseudoephedrine වැනි මිල අඩු අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම මත්ද්‍රව්‍ය සඳහා තවත් ඉතා භයානක රසායනික ද්‍රව්‍ය ගණනාවක් ඇතුළත් කරනු ලබයි. මෙම ෂජැ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර අධික විෂ සහිත ප්‍රදේශ වන අතර, මෙවැනි නිෂ්පාදනාගාර වසා දමා කාලයක් ගත වුවද මෙම රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියාවන් හා බලපෑම් පරිසරයේ පැවතිය හැකි බව විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇත. මේ හරහා මෙම නිෂ්පාදනාගාර අවට ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි අතර, මෙම රසායන ද්‍රව්‍ය නිසා මාරාන්තික පිපිරීම් සහ නිවාස ගිනිගැනීම් ද ඇති විය හැකි බවට අනතුරු ඇඟවේ.

ICE ඉතිහාසය

ජපාන රසායන විද්‍යාඥයෙක් විසින් 1893 දී Methamphetamine සොයා ගත් අතර, මෙය භාවිතය ප්‍රචලිත වූයේ දෙවන ලෝක යුද සමයේදීය. දෙවන ලෝක යුද්ධයේදී Speed නමින් භාවිත වූ මෙම මත්ද්‍රව්‍ය මිත්‍ර පාක්ෂිකයින් වෙනුවෙන් ලබා දීම ආරම්භ වූ අතර, මෙය උත්තේජකයක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් හමුදා සෙබළුන් තුළ අධි ක්‍රියාකාරී හා අධි ප්‍රචණ්ඩකාරී තත්වයන් පවත්වා ගැනීමට භාවිත කෙරිනි.

මේ සඳහා මුලින්ම 5,000 කට අධික කාලයක් පුරා සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ භාවිතා කර ඇති Ephedra යන ශාඛයේ රසායනික ප්‍රතික්‍රියාව භාවිත කර ඇති අතර, මේ සඳහා පුරෝගාමී වී ඇත්තේ 1885 දී, ජර්මනියේ අධ්‍යාපනය ලබන ජපන් රසායන විද්‍යාඥයෙකු වන Nagai Nagayoshi විසිනි.

ඉන් අනතුරුව 1919 දී තවත් ජපන් රසායන විද්‍යාඥයෙක් වන අකිරා ඔගාටා විසින් මෙම රසායනික ක්‍රියාවලිය විධිමත් Methamphetamine නිෂ්පාදනය කළේය. ඔහු ලොව ප්‍රථම ස්ඵටික මෙත් නිර්මාණය කරමින් Ephedrine ස්ඵටිකීකරණය වූ ආකාරයක් බවට පත් කළ අතර, මේ සඳහා ඔහු විසින් පොස්පරස් සහ අයඩීන් භාවිතා කළ බවට වාර්තා වේ.

Ice භාවිතයේ බලපෑම

Ice හෙවත් Methamphetamine මොළයේ ඇති ස්වභාවික රසායනිකයක් වන Dopamine ප්‍රමාණය වැඩි කරයි. ඩොපමයින් මගින් ශරීරයේ චලනය, අභිප්‍රේරණය සහ හැසිරීම් ශක්තිමත් කිරීම සිදු කරන අතර, මෙම මත්ද්‍රව්‍ය ශරීර ගතවීම මගින් මොළයේ ඩොපමයින් ඉහළ මට්ටමකින් හා අධික වේගයකින් මුදා හැරීම සිදු වේ.

මේ හරහා කෙටි කාලීන බලපෑම් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් අධික වන අතර, නින්ද යාම අවම වේ. එමෙන්ම ආහාර රුචිය අඩු වන අතර, වේගවත් හුස්ම ගැනීමක් හා අක්‍රමවත් හුස්ම ගැනීමේ රටාවක් ඇති වන අතර, හෘද ස්ඵන්ධනය අධිකවීම හා අක්‍රමවත් හද ගැස්මක් ඇති වේ. එමෙන්ම රුධිර පීඩනය උත්සන්න වන අතර, ශරීර උස්ණත්වය ද ඉහළ යනු ඇත.

මෙම කෙටි කාලීන බලපෑම්වලට අමතරව ඉතා කෙටි කාලයක් තුළ ශරීරයේ බර අඩුවීම, දත් මුල් දිරායාම ඇතුළු දන්ත ගැටළු ඇතිවීම මෙන්ම ටික කාලයකදී දත් හැලී යාම සිදු වේ. එමෙන්ම ශරීරය පුරා දැඩි කැසීම් තත්වයක් ඇති කරන අතර, මේ හේතුවෙන් සම පුරා සීරිම් හා සමේ තුවාල ඇති කරන අතර, මෙය දීර්ඝ කාලීනව පැවතීමෙන් ශරීරය විකෘති විමේ තත්වයක් මතු වේ.

එමෙන්ම මොලයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති වන අතර, මේ හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයක් ඇති වන අතර, මතකය අහිමිවීම, මානසික අවපීඩනයක් ඇතිවීම හේතුවෙන් අන් අය කෙරෙහි අවිශ්වාසයක් ඇතිවීම නිසා සමාජ සම්බන්ධතා පිරිහීමට ලක් වේ. මේ අතර ඇතිවන මානසික අවපීඩනය හේතුවෙන් විවිධ මායාවන් හා සැබෑ නොවන දෘෂ්‍ය මායාවන් ඇතිවීම හේතුවෙන් ප්‍රකෘති තත්වයෙන් බැහැර වූ වෙනස්ම තත්වයක් ඇති කරනු ලබයි.

මතකයට දැඩි බලපෑම් කිරීම හේතුවෙන් තරුණ ප්‍රජාව කෙරෙහි මෙය දැඩි බලපෑමක් ඇති කරන අතර, ඉගෙනීමෙන් ඈත්වීම, අධ්‍යයනයට රුචි නොවීම වැනි තත්වයන් ඇති කරනු ලබයි.

මෙයට අමතරව සෞඛ්‍යමය වශයෙන් බලපානු ලබන ප්‍රධාන කාරණාවක් වන්නේ මෙම පුද්ගලයින් HIV ආසාදනයට ගොදුරුවීමේ අවධානම වැඩිවීමයි. මෙතම්ෆෙටමින් හෙවත් අයිස් එන්නත් කරන පුද්ගලයින්ට HIV සහ හෙපටයිටිස් B සහ C වැනි බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත. මෙම රෝග සම්ප්‍රේෂණය වන්නේ රුධිරය හෝ ඖෂධ උපකරණවල පැවතිය හැකි වෙනත් ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙනි. Methamphetamine භාවිතය මගින් විනිශ්චය සහ තීරණ ගැනීම වෙනස් කළ හැකි අතර එය අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැනි අවදානම් හැසිරීම් වලට මග පාදයි, එය ආසාදන අවදානම වැඩි කරයි.
එමෙන්ම අප මුලින් සඳහන් කළ මොලයේ ඩොපමයින් නිෂ්පාදනය ඉතා වේගයයෙන් සිදුවීම දිගින් දිගටම පැවතීම හේතුවෙන් කල් යාමේදී මොලයේ ඩෙපමයින් නිෂ්පාදනය අවම වන අතර, පසුව සම්පූර්ණයෙන්ම ඩොපමයින් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැති වී යයි. මේ හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයන් ඇති වන අතර, ශරීරයේ අස්ථි දිරායාම ඇතුළු ශරීර දිරායාම හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ පුද්ගල ශරීරය විනාශ වී යාම සිදුවේ.

Ice මත්ද්‍රව්‍යය අනෙකුත් මත්ද්‍රව්‍ය හා සැසඳීමේදී අතිශයින්ම භයානක වන්නේ මෙහි ඇති අති ප්‍රබල ඇබ්බැහිකාරකයයි. සාමාන්‍යයෙන් සෙසු මත්ද්‍රව්‍යවලට වඩා අයිස් මත්ද්‍රව්‍යට ඇබැබැහිවීමේ ප්‍රවණතාවය ඉතා අධිකය. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම මත්ද්‍රව්‍යය විවිධ ආකාරවලින් භාවිත කිරීමේ හැකියාව හා මෙම මත්ද්‍රව්‍යයේ මත්ගතිය ඉතා දිගු වේලාවක් පැවතීමයි.

Ice බෙදෙන හැටි

Ice මත්ද්‍රව්‍ය රසායනික සංයුතීන්ගේ එකතුවක් හරහා නිෂ්පාදනය කරනු ලබන කෘත්‍රිම නිෂ්පාදනයක් වන අතර, මේ වන විට ඇමරිකාවේ මෙක්සිකාව තුළ ඉතා විශාල වශයෙන් මෙය නිෂ්පාදනය කෙරෙන බව අප මීට පෙර සටහන් කළෙමු. ඇමරිකාවට අමතරව චෙක් ජනරජයට ද අති විශාල ප්‍රමාණයෙන් මෙම Ice මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අතර, මෙසේ නිෂ්පාදනය කරනු ලබන Ice මත්ද්‍රව්‍යය මුහුදු මාර්ග හරහා ලොව පුරා බෙදාහැරීම සිදු කරනු ලබයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ලොව පුරා ව්‍යාප්ත අති ප්‍රබල ජාවාරමක් වන අතර, ලොව බලවත් නීතිවිරෝධී ජාවාරමක් වන ආයුධ ජාවාරම හා මෙය බැඳී ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. මේ වන ආසියාව පුරා මෙම ජාලය පැතිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස පාකිස්ථානය හා ඉන්දියාව පත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට Ice මත්ද්‍රව්‍ය ලැබීමේ ප්‍රධාන සන්ධිස්ථානය ලෙස තූත්තුකුඩි වරාය පත්ව ඇත.
මෙම ප්‍රවාහන ජාලය තුළ මාෆියා කල්ලි මෙන්ම ධීවර ප්‍රජාව බහුල වශයෙන් ඇති බව අනාවරණය වී ඇති අතර, බහුදින ධිවර යාත්‍රා මෙම ව්‍යාපාරය හා දැඩි සම්බන්ධකම් පවත්වාගෙන යයි.

මෙය ලංකාවට පැමිණීමෙන් පසු ලංකාව පුරා ව්‍යාප්තවීම ද ජාල ගතව සිදු වන අතර, විවිධ ක්‍රමවේදයන් ඔස්සේ Ice රට පුරා පැතිර යයි.

අපට බලපාන හැටි

Ice මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සඳහා ජාවාරම්කරුවන් විසින් වැඩි වශයෙන් අවධානයට ලක් කරනු ලබන පිරිස වන්නේ පාසැල් වයස් කාණ්ඩ ය. නව අත්දැකීම් ලබා ගැනීමේ කුතුහලය හා ආශක්තබව වැඩිවශයෙන් ඇති කණ්ඩායමක් ලෙස මෙසේ තරුණ පරපුර වෙත Ice මත්ද්‍රව්‍ය බලපැම් කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍යයේ ඇති අධික ඇබ්බැහිවිම හේතුවෙන් මෙය තරුණ පරපුර කෙරෙහි මහත් ව්‍යසනකාරී බලපෑමක් සිදු කර ඇත.
විශේෂයෙන්ම පසුගිය කාලය පුරා ඇති වූ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අධ්‍යාපන රටාව වෙනස්වීම මත විශේෂයෙන් ධබකසබැ අධ්‍යාපනය රට තුළ ව්‍යාප්තවීම මත දරුවන් හා තරුණ ප්‍රජාව වැඩි වශයෙන් අන්තර්ජාල සේවාවන් හා ඩිජිටල් තිර වෙත යොමු වීම තරුණ ප්‍රජාව වෙත Ice මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට පහසු වී ඇත.

එමෙන්ම පසුගිය කාලය පුරා රටේ ඇති වූ ආර්ථික ගැටළුව හේතුවෙන් මේ වන විට පවුලේ වැඩිහිටි සියලූ දෙනා සිය පවුලේ නඩත්තුව වෙනුවෙන් මුදල් ඉපැයීමට වැඩි අවධානයක් හා වැඩි කාලයක් යොමු වීම ද තරුණ ප්‍රජාව මෙම ගැටළුවට යොමු වීමට රුකුලක් වී ඇත. විශේෂයෙන්ම මීට පෙර පවුලේ එක් අයෙකු පමණක් මුදල් ඉපැයීමට යොමු වූ පවුලක අනෙකුත් සාමාජිකයින්ගේ තත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට මව හෝ වෙනත් වගකිවයුතු කෙනෙකු වෙන් වී සිටි අතර, මේ වන විට ඇති වී ඇති ආර්ථික ගැටළුවෙන් මිදීම සඳහා සෑම කෙනෙකුම මුදල් ඉපැයීමට යොමුවීම තුළ පවුලේ සාමාජිකයින් කෙරෙහි මීට පෙර ඇති වී තිබූ අවධානම ගිලිහී ගොස් ඇත.

මේ වන විට පාසැල් යන දරුවන්, පුද්ගලික උපකාරක පන්ති සඳහා යන දරුවන් මෙන්ම, Online අධ්‍යාපනය හදාරන දරුවන් කෙරෙහි පුද්ගලික අවධානය බොහෝ සෙයින් ගිලිහී ගොස් ඇති අතර, දරුවන් හා තරුණ ප්‍රජාව කෙරෙහි සිය පවුලෙන් ලැබිය යුතු ආදරය, කරුණාව, රැකවරණය යම් පමණකින් ගිලිහී ගොස් ඇත.

මෙම තත්වයන් හමුවේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් Ice මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි කරවීමට පහසු මාර්ග ගණනාවක් විවර වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ පහසු ගොදුරක් බවට තරුණ ප්‍රජාව පත්ව ඇත. එමෙන්ම මෙම Ice මත්ද්‍රව්‍යයේ ඇති බරපතල ඇබ්බැහිකාරකය හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම මත්ද්‍රව්‍ය කෙරෙහි වඩාත් ආශක්තවීම හා ඉන් නොමිදීම මෙහි ඇති බරපතල තත්වයයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ සියලූ අංශ පවසන්නේ මෙතෙක් ලොව බිහි වූ අතිශයින්ම භයානක මත්ද්‍රව්‍ය මෙය බවයි. ඉතා කෙටි කාලයක් තුළ ජීවිතයක් විනාශ කිරීමට හැකියාවක් ඇති මෙම මත්ද්‍රව්‍ය යනු අත්දැකීමක් ලබා ගැනීමේ ආශාවෙන් ඒක්වරක් හෝ භාවිත කළ පුද්ගලයෙකුට ඉතා කෙටි කාලයක් තුළ සුසාන භූමියේ ඉඩ සලසා දීමට මෙයට හැකි බවයි.

ඒ අනුව මෙම Ice මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම යනු රජයේ හෝ වගකිවයුතු ආයතනවලට හෝ පමණක් වෙන් වූ වගකීමක් නොව. එය සමස්ත ජාතියේම වගකීමකි. එබැවින් මේ මත් උවදුර මෙරටින් තුරන් කිරීම කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ සිදු වියු යුතුම දෙයකි.

එබැවින් වගකිවයුතු පුරවැසියන් ලෙස මේ මොහොතෙ මත්ද්‍රව්‍ය පමණක් නොව සමස්ත මත්ද්‍රව්‍ය ජාලයම මෙරටින් තුරන් කිරීමට එකාවන්ව එක් විය යුතු බව නැවත නැවතත් අවධාරණය කරමු.

සජිත් සාරංග සේනාරත්න (මුග්ධයා)

කාටූනය – නුවන් ඉහළගෙදර

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.